Thursday, July 21, 2011

මනුෂ්‍යත්වයේ හරය කුමක්ද?

විද්‍යත්මකව බලන විට මිනිස් මනසට ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක යන දෙයාකාරයක ස්වභාවයක් ඇත. මිනිස් මනසට ජීව විද්‍යාත්මක ස්වභාවයක් පවතින බව ඉතා පැහැදිලි කරුණකි. විඥානය මිනිස් මොළයේ ජාති ලක්ෂණයකි. ඒ නිසා මොළයට යම් අනතුරක් සිදු වූ විට, රෝගයක් වැලඳුනු විට මනසේද ඊට අනුරූපී වෙනස් කම් ඇති වේ. රිය අනතුරකින් මොළයට හානි වූ ඇතම් අයගේ මතකය අහෝසි වී ඇති ආකාරයද, මොළයේ ගෙඩි හටගත් පිළිකා හටගත් ඇතම් අයගේ තාර්කික ශක්තිය අහෝසි වී ඇති ආකාරයද ඔබ දැක ඇතුවාට සැක නැත.

සරුරේ සිදුවන රසායනික වෙනස්කම් මනෝභාවයන්ට බලපායි. කනස්සල්ල, අතෘප්තිය, කාන්සාව වැනි මනෝභාවයන්වලට සිරුරේ ජීව විද්‍යත්මක සාධක බලපාන ආකාරය විද්‍යඥයින් සොයාගෙන ඇත. එමෙන්ම ඖෂධ ලෙස විවිධ රසායනික ද්‍රව්‍ය ශරීරගත කිරීමෙන් මානසික රෝග සුවකරන ආකාරය ඔබ දැක ඇතුවාට සැක නැත. එබැවින් මිනිස් මනසට ජීව විද්‍යාත්මක ස්වභාවයක් පවතින බවට සැකයක් නැත.

ජීව විද්‍යාත්මක ස්වභාවයට අමතරව මිනිස් මනසට සමාජ විද්‍යාත්මක ස්වභාවයක්ද ඇත. යම් කේවල පුද්ගලයකුගේ විඥානය හැඩගැසීමේදී හා සංවර්ධනය වීමේදී පවුල, පාසල, අසල්වැසියන්, ඔහුගේ ශ්‍රම ක්‍රියාකාරිත්වය, ගෘහාශ්‍රිත පරිසරය හා සංස්කෘතික මට්ටම් අනිවාර්ය බලපෑමක් කරයි. සැබවින් කියන්නේ නම්, යම් පුද්ගලයෙකුගේ විඥානය හැඩගස්වනු ලබන්නේ ඔහු අවට සිටින මිනිස් සමාජය විසිනි.

කුඩා දරුවෙකු උපත ලැබූ දා සිට දෙමව්පියන් හා අනෙකුත් වැඩිහිටියන් එක්ව ඔහුගේ චින්තනය සංවර්ධනය කරයි. මේ සමාජ බලපෑම් නොමැතිව මිනිස් විඥානයක් ඇතිකර ගත නොහැක. ඉතා කුඩා කාලයේදී මිනිස් ආශ්‍රයෙන් ඈත් වී සතුන් අතර හැදුණු වැඩුණු දරුවන් පිළිබඳව උදාහරණ අපට පසක් කරවන්නේ එයයි.

19වන සියවසේ මැද භාගයේදී ප්‍රංශයෙන් හමු වූ ගෝරිල්ලන් අතර හැදුණු වැඩුණු පිරිමි දරුවාද, 20වන සියවසේ මුල් භාගයේදී ඉන්දියාවෙන් හමු වූ වෘක්කයන් අතර හැදුණු වැඩුණු දැරියන් දෙදෙනාද, 21වන සියවස මුල ශ්‍රී ලංකාවේ අනුරාධපුරයෙන් හමු වූ රිළවුන් අතර හැදුණු වැඩුණු දැරියද මීට හොඳම නිදසුන්ය. මේ දරුවන් සියලු දෙනාම දේහ විද්‍යාත්මකව මිනිසුන් වුවත්, ඔවුන්ගේ මොළය සාමාන්‍ය තත්වයේ තිබුණත්, ඔවුන් තුළ මිනිස් විඥානය සංවර්ධනය වී තිබුණේ නැත. එය සතෙකුගේ මෙන් විය. ඊට හේතුව ඔවුන්ගේ විඥානයට දිගු කලක් මුළුල්ලේ සමාජමය බලපෑමක් නොවීමයි.

මේ කරුණු සියල්ල සොයා බලන විට පැහැදිලි වන්නේ මිනිස් මනස එහි මනෝභාවයන් හා මනුෂ්‍ය ස්වභාවය තුළ ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක ද්විත්ව ස්වභාවයක් ඇති බවයි. මාක්ස්වාදීන් මිනිස් ස්වභාවය සාකච්ඡා කිරීමේ දී මේ දෙපාර්ශ්වයේම බලපෑම දකියි. එබැවින් මිනිස් මනස විග්‍රහ කළ යුත්තේ ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක සංයුතියේ ප්‍රතිපක්ෂයන්ගේ ඒකත්වයක් ලෙසය.

අනෙක් අතට මිනිසාගේ පොදු ලක්ෂණ අපට මුණගැසී ඇති තනි තනි මිනිසුන්ගේ වියුක්ත ගුණාංග නොවේ. මිනිස් ස්වභාවය තේරුම් ගත යුත්තේ සමස්ත සමාජ සබඳතාවයන්ගේම සංයුක්තයක් ලෙසිනි.

"මිනිසාගේ හරය යනු කිසියම් කේවල පුද්ගලයෙකුට ආවේණික වියුක්තියක් නොවේ. එහි යථාර්ථය අනුව එය සමාජ සබදතාවයන්ගේ එකතුවකි." (කාල් මාක්ස් - ජර්මන් දෘෂ්ටිවාදය 16 පිටුව)

අනෙක් අතට මෙම මිනිස් ස්වභාවයද ඝනීභූතව එකතැන පවතින්නේ නැත. එය දැනුවත්වම වෙනස් වේ. එබැවින් සමාජ සබඳතාවයන්ගේ එකතුවක් ලෙස මිනිස් ස්වභාවය විග්‍රහ කරගන්නා අතරම එය එවකට පවතින නිෂ්පාදන ක්‍රමය සමග ඒකාබද්ධව තේරුම්ගත යුතුව තිබේ.

"සමාජ ඉතිහාසය යනු අන් කිසිවක් නොව, මිනිස් ස්වභාවයේ අඛණ්ඩ පරිණාමයයි." ( කාල් මාක්ස් - දර්ශනයේ දුගී බව- 135 පිටුව )

එම නිසා මනුෂ්‍යයාගේ හරය පොදු මිනිස් ලක්ෂණ මෙන්ම යම් නිශ්චිත අවධියක ඓතිහාසික ලක්ෂණ ද අන්තර්ගත කර ගනී.

හෝමෝසේපියන්ස් සේපියන්ස්ගේ ලක්ෂණ
සත්ව රාජධානියේ අනෙකුත් සතුන්ට වඩා මිනිසාගේ ඇති විශේෂතා මොනවාදැයි අප හදුනාගත යුතුය. මිනිසා සත්ව රාජධානියෙන් වෙන් වන විටම එක් පැත්තකින් මොළය, ඇස, අත ආදී ඉන්ද්‍රියයන් වර්ධනය වී සුවිශේෂ දේහ සැකැස්මක් නිර්මාණය වූ අතර අනෙක් පැත්තෙන් ඊට සාපේක්ෂව මිනිස් විඥානය සංවර්ධනය විය.

ශ්‍රමය සහ භාෂාවේ අඛණ්ඩ උත්තේජනය යටතේ, මිනිසාට සුවිශේෂ වූ තත්වය තෙක් දියුණුවන තුරුම මොළය විකාශනය වන්නට විය. මොළයේ විකාශනයත් සමඟ එහි උපකරණයන් සේ සැලකිය හැකි ඇස, කන, නාසය, වැනි ඉන්ද්‍රියයන්ද සම්පූර්ණයෙන් වර්ධනය වන්නට විය. මෙම දියුණුවට සමාන්තරව විඥානයේ ක්ෂේත්‍රයද විනිශ්චය හා ඥාන ගවේෂණය වැනි වැනි අංශ වලින් පුළුල් වී ගියේය. මෙම සංවර්ධනයන් පෙරළා ශ්‍රමයේ හා භාෂාවේ විකාශනයේ උත්තේජකයක් බවට පත්විය. මෙසේ මානව කල්ප වානරයා මිනිසා බවට පරිණාමය විය.

ඒ අනුව අනෙකුත් සතුන්ට වඩා වෙනස් ලෙස මිනිසා හිමිකරගත් මිනිස් ලක්ෂණ මොනවාද යන්න අතිශය පැහැදිලිය. ඒ සවිඥානක බව, ශ්‍රමය, භාෂාව ආදියයි. ඊට අමතරව ජීව විද්‍යාත්මකව මොළය, අත ආදී ඉන්ද්‍රියයන් තුළ විශේෂ වෙනස්කම් තිබේ. විශාල කපාල ධාරිතාවක් සහිත හිස් කබල, සෘජු කෝණී මහපට ඇඟිල්ලක් සහිත අත, සෘජු පිටකොන්ද හා දියුණු ස්නායු පද්ධතියද මිනිසාට පමණක් අනන්‍ය ලක්ෂණයන්ය. සමාජ විද්‍යාත්මකව බලන කල, මිනිස් ලක්ෂණය වනුයේ සවිඥානක බව, ශ්‍රමය, භාෂාව ආදිය මිස තණ්හාව, ඊර්ෂ්‍යාව, කුහකකම, සූරාකෑම ආදිය නොවේ. මිනිසා සමාජීය සත්වයෙකි. එබැවින් මානුෂීය හරය සමාජයෙන් වියුක්ත කොට විග්‍රහ කළ නො හැකිය. එය විග්‍රහ කළ යුත්තේද සමාජීය ලෙසිනි. සවිඥානක බව, භාෂාව, ශ්‍රමය ආදී බොහෝ ලක්ෂණ වර්ධනය වන්නේද සමාජීය ලෙසිනි.

"මිනිසා ස්වභාවයෙන්ම සමාජීය සත්ව​යෙක් නම්, ඔහු තම සැබෑ ස්වභාවය සමාජය තුල පමණක් දියුණු කරගන්නා නිසා, ඔහුගේ ස්වභාවයේ ශක්තිය මැනිය යුක්තේ එක් එක් පුද්ගලයාගේ ශක්තිය ​වෙන් වෙන් වශයෙන් සලකා නොව සමාජයේ ශක්තිය තුළින් මැනීමෙනි."( කාල් මාක්ස් - ශුද්ධ වූ පවුල - 176 පිටුව)

යුගයට අනුව වෙනස්වීම අනෙක් සතුන්ට වඩා වෙනස් ලෙස වෙනස් වීමට මිනිසාට ආවේණික මිනිස් ලක්ෂණ ඇති බව මෙම ලිපියේ මුලින් ප්‍රකාශ කළෙමු. ඊට අමතරව මිනිස් ඉතිහාසයේ එක් එක් යුගවල මිනිසුන්ටද විවිධ ලක්ෂණ තිබුණි. විශේෂයෙන් පන්ති බිහිවීමෙන් පසු මෙම ලක්ෂණ වලට පන්තිමය දෘෂ්ටීන් විශාල බලපෑමක් කළේය. ඒ නිසා සමාජ විඥානයේ ස්වභාවයන් සාකච්ඡා කිරීමේදී පන්තිමය ඇසකින් ඒ දෙස බැලිය යුතුය.

"ඉතාමත් ප්‍රාතමික යුගයේ සමාජය හැර ඕනෑම කාලයක ජීවත් වන්නෙකු කෙබඳු මිනිසෙකුද යන්න හා මනුෂ්‍ය ස්වභාවය ගමන් කරන්නේ කෙබඳු අතකටද යන්න ඓතිහාසික වශයෙන් තීරණය කරන්නේ සමාජයේ පන්ති ව්‍යුහයයි." (කාල් මාක්ස් - German Ideology - 616 පිටුව)

මිනිසාගේ ස්වභාවික ලක්ෂණ මෙවා දැයි බොහෝ දෙනා විග්‍රහ කරන්නේ ධනේශ්වර ක්‍රමය තුළ මිනිසා ලබාගෙන ඇති ලක්ෂණයන් පමණක් සලකා බලමිනි. මෙම යුගයේදී බලය හොබවන්නේ කුමන පන්තියද, ඔවුන්ගේ අදහස් මොනවාද, ඒ පන්තියේ ආකල්ප හා පරමාදර්ශයන් මොනවාද යන්න විග්‍රහ කර නොගෙන ඒ යුගයේදී වුව සමාජ මනෝභාවයන් ගැන අර්ථකථන ලබාදීම වැරදිය. එක් එක් යුගයේ සමාජ විඥානය ගැන විග්‍රහ කළ යුත්තේ පන්තිමය පදනමක සිටිමිනි. මන්දයත්, යම් යුගයක රජයන අදහස් එම යුගයේ පාලක පන්තියේ අදහස් වන බැවිනි. සමාජ ආකල්ප හෝ අදහස් හුදු අහිංසක ඒවා නොවේ. ඒවා පන්තිමය මූලයන් සහිතය.

"යුගයක රජයන අදහස් වනාහී එම යුගයේ පාලක පන්තියේ අදහස්ය. සමාජයේ භෞතික බලය හිමි පන්තිය ඒ සමගම එහි පාලක බුද්ධිමය බලවේගයද වේ. එහි ප්‍රතිඵලයක් ලෙස භෞතික නිෂ්පාදනයේ අයිතිය හා බලය සතු කරගත් පන්තිය මානසික නිෂ්පාදනයේ අයිතියද හිමිකර ගනී. මේ නිසා මානසික නිෂ්පාදන පහසුකම් නැති අයගේ අදහස් සමස්තයක් වශයෙන් ඊට යටත් වේ." (කාල් මාක්ස් - German Ideology - 67 පිටුව)

ධනවාදයේ මිනිසා............
ධනවාදය තුළදී අපට හමුවන්නේ සමාජයෙන් හුදකලා කරනු ලැබ අතෘප්තියට පත් වූ මිනිසෙකි. (මෙම කොටසට මාක්ස්වාදී විප්ලවවාදීන් අයත් නොවේ.) මානව සබඳතා බිඳවැටී, මූල්‍යමය සබඳතාවල ගොදුරක් බවට පත් වූ මිනිසෙකි. නොනවතින ජීවන චක්‍රයක සිරවී සිය ජීවිතයේ තෘප්තිය හා වටිනාකම අහිමිකරගත් මිනිසෙකි. තමාට අන් අය පමණක් නොව තමාට තමා අහිමි වූ මිනිසෙකි. ​වෛරය, ආත්මාර්ථකාමීත්වය, ඊර්ෂ්‍යාව, කුහකකම, අන් අය පෙළීම වැනි ක්‍රියා හරහා පිටතට පනින්නේ එවැනි මිනිසෙකු තුළ ඇති පීඩායි. නමුත් එය මිනිසාගේ ස්වභාවික ලක්ෂණයක් ලෙස ගැනීම අතිශය අවිද්‍යාත්මකය. අපට මේ පිළිබඳව තවත් සවිස්තරාත්මකව සාකච්ඡා කළ හැක. එවිට අප ජීවත් වන ධනවාදී යුගයේ මිනිසා මුහුණ පා ඇති අධ්‍යාත්මික අර්බුදය අපට මැනවින් පැහැදිල කරගත හැක. අපේ කාලයේ මිනිසුන්ගේ හැසිරීමට හේතු සොයාගත හැක්කේද එවිටය.

ධනවාදය යනු මුදල් මත, ප්‍රාග්ධනය මත පදනම් වූ සමාජ ක්‍රමයකි. ධනවාදය තුළ මිනිසෙකු හා මිනිසෙකු අතර ඇති සබඳතාවයන් හුදු මුදල් ගනුදෙනු බවට පිරිහෙළනු ලැබීය. සිය ස්වභාවය තුළම සමාජීය සත්වයෙකු වන මිනිසා කෘත්‍රිම ලෙස සමාජ සම්බන්ධතා බිඳ දැමූ හුදකලා පුද්ගලයෙකු බවට පත්කර ඇත. ඔහුගේ ජීවිතය මුදල් සෙවීම උදෙසා යන නොනවතින තරගයක් බවට පත්කර ඇත. මේ බව කාල් මාක්ස් ඉතා සිත්ගන්නාසුලු ලෙස විස්තර කර තිබේ.

"මිනිසා තම ස්වභාවික අධිපතීන්ට බැඳ දමා තිබුණු අනේකවිධ රදල බන්ධනයන් තූ තූ කොට ඉරා දැමූ එය මිනිසෙකු හා මිනිසෙකු අතර නග්න ස්වාර්ථකාමයද, අනුකම්පා විරහිත ලෙස මුදල් ගෙවීමද හැර අන් කිසිදු සබඳතාවයක් ඉතිරි නො කළේය." (කොමියුනිස්ට් ප්‍රකාශනය)

සිය සුප්‍රකට කොමියුනිස්ට් ප්‍රකාශනයේදී මාක්ස් හා එංගල්ස් පවසන ආකාරයට ධනවාදය පවුල් සබඳතාවයන් හුදු මූල්‍ය සබඳතාවන් දක්වා පහත හෙලීය. සියල්ල ආත්මාර්ථකාමී ගණන් බැලීම නැමැති අයිස් වතුරේ ගිල්වනු ලැබීය. මේ තත්වය තුළ මිනිසා නිරතවන්නේ තරගයකය. එනම්, තනි තනිව ජයගත යුතු මුදල් සෙවීමේ තරගයකය. මේ තරගය තුළ මිනිසාට අන් සියලු මිනිසුන් පෙනෙන්නේ සතුරන් ලෙසිනි. පැරදවිය යුතු අය ලෙසිනි. මිනිසා සමාජීය සත්වයෙක් නිසා සමාජ සබඳතාවලින් ඈත් කරනු ලැබූ මිනිසා මානසික වශයෙන් නීරෝගී අයෙකු නොවේ. ඔහු මානසික රෝගියෙකි. ඔහු සමාජයෙන් හුදෙකලා වී ඇති නිසා පොදු අරමුණු වලින් බැහැර වී ඇත. මේ තරගයෙන්ද බොහෝ අයට හිමිවන්නේ පරාජයයි. ඒ නිසා පරාජිත බව, අසුබවාදය, ඊර්ෂ්‍යාව, කුහකකම, තණ්හාව වැනි රෝග ලක්ෂණ ඔහුගෙන් ප්‍රකාශයට පත් වේ. ඒවා මිනිසාගේ ස්වභාවික ලක්ෂණ නොවේ. මිනිසාට පන්ති සමාජය විසින් බැහැරින් ආරෝපණය කරන ලද නිර්මානුෂීය ගුණාංගයන්ය. ඒ ගුණාංග මිනිසාගේ ආරම්භයේ සිට පැවති ඒවා නොවේ. නිශ්චිත වශයෙන්ම මෑත කාලයේ ජනිත වූ, කෘතිමව ඇති කරන ලද ඒවාය.

මෙම නිසාම ධනවාදය තුළ සිටින මිනිසා (මෙම කොටසට විප්ලවවාදීන් අයත් නොවේ.) සතුට අහිමිකරගත් මිනිසෙකි. අතෘප්තියට පත් වූ, පරාජිත මනෝභාවයන් ඇතිකර ගත් මිනිසෙකි. තමාටම පිටස්තරයෙක් බවට පත් වූ මිනිසෙකි. මෙම තත්වය මාක්ස් ''පරාරෝපණය" යන සංකල්පය හරහා විස්තර කළේය. එය හැදෑරීම වත්මන් සමාජ විඥානය තේරුම් ගැනීමට උත්සාහ කරන්නෙකුට අත්‍යාවශ්‍ය දෙයකි.